image-from |
හිරු දියේ ගිලී සමුදුර එහි පැහැය ගනී
කරදියෙන් තෙමී හිරිපොද ඇවිත් වත සිඹී
නැඟී සඳ නැතී තරු මා හා සිනාසෙතී
මුවාවට යමී ඉස්ටේසමට වැසි වසී
රළ සමඟ හැපී වෙරළේ මතක පිය මනී
මළ බැඳුණු පීලි මත දම් පාට මල් පිපී
ඇගේ හිස පැළැන්දූ මල් සමය සිහි වෙතී
අදත් ඇති පිපී අඳුරට පෙනෙන්නේ නැතී
සිහින කැබලිතී දුම් රිය හඬින් ඉහිරෙතී
වැස්ස නොම දෙතී ඉඩ තව පමාවට මෙහී
කළුව පමණකී අහසේ වලාකුළු පිරී
දෑස ලත වෙතී සිත ගතු කියයි ඇය සිටී
8 comments:
//මළ බැඳුණු පීලි මත දම් පාට මල් පිපී//
පදපේලි දහසක් කීව එක පේලියක්!
පරිසර වර්ණනාව යොදාගෙන මවන චිත්තරූපය උපරිමයි මල්ලි.
නැගී සද නැතී තරු මා හා සිනාසෙතී
මුවාවට යමී ඉස්ටේසමට වැසි වසී..
එන්න එන්නම ඔබේ කවිවල ආකර්ෂණීය බව වැඩි වෙනවා.
පොතක් පබ්ලිශ් කරන්න අදහසක් නැද්ද?
@ ගල්මල්-Coral
මා නිතර දුටු මනස පිනවනා දසුනකී
බොහොම ස්තුතියි අයියේ
@ වර්ෂා
අගෙයි පැසසුම් කරන දිරිමත්
හිතෙයි ඉඳ හිට ලියමි ටික ටික
ආදරයේ විරහව තමයි බොහෝ විශිෂ්ට නිර්මාණවල තේමාව...! කවි පන්තිය අපූරුයි.
@වර්ෂා, අපිත් ඕක කලින් කියලා තියෙනවා.
මට නම් හිතෙන විදියට, සාහිත්‍ය පාඩම්වලට නිර්දේශ කරන්න පුළුවන් තරමේ නිර්මාණ විකසිතේ තියෙනවා. පොතක් ගැහුව ම ඒ chance එක වැඩියි.
ඇත්ත. බොහෝ දෙනාට සමීප හැඟීමක් නිසා වෙන්නට ඇති.
බර වැඩි උනත් විකසිතට පැසසුම් වටී පුදමී තුති !
හැමදාමත් වගේ ලස්සනයි කවි පේළි ටික.. මේ පැත්තේ එන හැමදාකම දකින්න ලැබෙන්නේ වෙනස්ම අලුත්ම අදහස් රොත්තක්... ලස්සනයි..
බොහොම ස්තුතියි ! සතුටකි සුරැකීම අලුත් බව.
Post a Comment