Wednesday, February 2, 2022
උඩවැඩියා
Sunday, May 16, 2021
මාස්ටර්පීස්
Photo from The Telegraph UK
අනර්ඝය මහාර්ඝය
ලොවෙත් සුපිරිය මරුය
විශේෂණ ගොඩකින්ම
නැඟූ උත්කර්ෂයට
කාලාකෘති තුළ සිරව
හිඳින්නාවූ විවිධ
චරිත රොත්තක් එක්ව
කෑ ගාන හඬ ඇසේ
මෙය අපේ කතාවයි
එය ඇත්ත එය ඇත්ත
නුඹට රසවත් තිත්ත
තලු මරන වල් හැත්ත
කඳුළු වගෙ නැහැ තින්ත
ලියන්නට බැහැ අපිට
හොඳින් දෙසවන සුසර
කර ඇසුවොතින් ඇසේ
වෙඩි සද්ද මැද හින්ද
වැඩිය නෑසෙන හිත්ද
මතක් වී අම්මලා
පැටවු අඹු දරුවන්ද
හඬනව බොල යක්කු
නොවේ මේ අප ඉල්ලු
තොපේ රෙද්දේ යුද්ධ
සොචනීයම කොටස
හිනාවී ඉල ඇදෙන
කාලයක් ගතවෙද්දි
අපි අපිම පසසනා
අපේ උරුමය තියෙන
අපිම පීසස් වෙච්ච
කොහේ හරි කාගෙ හරි
එව්ව මාස්ටර් පීස්
Wednesday, October 7, 2020
දාලිත්
කෑලි කපාගෙන කළුවර ගින්න විකාරෙන්
කිල්ල මකාලයි සුදු දෝතියට නිගාවෙන්
නින්දෙ වැදී ඇයි අහසේ අන්ධ විලාසෙන්
වැස්ස වෙලා මේ සෑයේ ගින්න නිවාපන්
මලක් සේ අකුලෙ මා හද තුරුලේ හිනාවෙන්
උන්නු ඈ දැවේ මියැදී මටද මුවාවෙන්
දැවෙන ඈ මුරට රැකවල් නොවී පමාවෙන්
ඉන්න නෑ වරම් තනියට දුවේ කමාවෙන්
පින්න වැටීලා අලුයම ගින්න නිමාවෙන්
ඉන්න හැටි රැකී දාලිත් උන්ම කියාදෙන්
ධවල පිරුවටය අස්සෙන් යක්කු සිනාසෙන්
තැනක ගිය දුවේ දෙවියන් ඇතිද කියාපන්
පසුබිම් පුවත : http://www.ada.lk https://www.aljazeera.com
Picture : https://www.telegraphindia.com
Wednesday, April 22, 2020
උත්කර්ෂය
![]() |
| image-from |
තවම එළියයි මැදුර නුඹගේ
ඉසිඹු ලමි රණ බිමෙන් නික්මී
නුඹත් යන එන වෙහෙර කන්දේ
කිරුළෙ අනුහස් එළිය වැටිලා
ගම කලින් මල්වර උණා
අස්ස කුර මල් තලා දෙවටේ
තෙතම ඩිංගත් අවිලුවා
සඳලුතල මත නුඹේ රූ සිරි
වරුණ ඉන් අහසට නැඟී
පියාඹා යන අපූරුව දුර
නුඹව සිරකර මන්දිරේ
හතුරු සෙනඟට බැට තලා
එන්න කිතුගොස නංවලා
බොහෝ මවුනට වඩා පෙම්බර
අපේ අම්මා පිං කළා
අප්සරා නුඹ හිනාවෙනවද
සැකයි මට නම් පැංචියේ
පව්වෙ හෙවණැල්ලට වහංගුව
හුඟක් කදුලැලි හැංඟුනේ
Tuesday, March 24, 2020
සතා
![]() |
| image-from image-licence |
සෙනඟ කෝ සෙනඟ කෝ කවුරුත් නෑ
හුස්මත් සැපයි උඹලගෙ කරච්චලේ නෑ
නිකමට ඇහුවෙ ආවෙ නැතුවට කමක් නෑ
වලියක් දාගෙන ආතල් කුඩු කරන්ද නෑ
ටිකකට වරෙන් අතුලෙ නියම රස විමානෙ
කූඩුවෙ ඉන්නෙ මං එත් මං සතානෙ
ඇරපන්කො දොරක් බලන්න ප්‍රදානෙ
පෝලිමෙ තියල පිඟානට බෙදන්නෙ
පෝසන සලාකෙ කාල ඉන්නනෙ තියෙන්නෙ
එක්කන් අවිල්ල මෙච්චර සැප පුදන්නෙ
දවසක කොමද අපි උඹලට ගෙවන්නෙ
වැටක් ගහල කරන්ට් දීල අලිත් පදිරි වෙලානෙ
ඉඳල හිටල තමයි ඉතින් බොඩරෙ ක්‍රොස් කරන්නෙ
උන්වත් මිනිස්සු කරන්නනෙ බං උඹල මෙ හදන්නෙ
දෙයියන්ගෙ හාල් කාල උඹලත් දෙයියො වෙලානෙ
කොටුවෙන් කොටුවට පැන පැන ඉඳපන්
සිල්ලර කෑලි අපි වගෙ කැපි කැපි යනකන්
රජා උඹ දවසක උඹත් වෙයි සල්ලං
ඉත්තො නැතුව බෝඩ් එකම පාළු වෙලා බන්
රහ වෙන්න රැප් තාලෙට කියවන්න :)
Monday, November 20, 2017
සූටික්කි
![]() |
| image-from |
මල් පෙත්තෙ රොන් වැටිල තිබ්බේ
කවුද අර ගත්තේ නෑනෙ දන්නේ
සූටික්කි උඹ කොහෙද ඉන්නේ
ආයෙ ආවාද හර්දෙ ගැස්සේ
මං තමයි බං මුරට ඉන්නේ
වත්තෙ තාමත් මල් රකින්නේ
බංගලාවේ යක්කු ඉන්නේ
යන්නෙපා බං පපුව පිච්චේ
මලක් තියලා උඹේ කෙස්සේ
අන්දරේ මං හිනා ඉස්සේ
මතක් වීලා රෝස කොපුලේ
සුසුම් මැකියන් ගියත් රිස්සේ
Monday, November 6, 2017
පියවි
![]() |
| image-from |
තදින් වැහි වැටෙන සවසක ඉරත් හැංගෙනා ඉක්මන
විහඟුන් ද අහස අතහැර නවාතැන් සොයන අන්දම
අරගලයෙ ලෙය වැහි දිය සමඟ එක් වෙනා ගොම්මන
නිදහසද ඉමක නවතිනු ඇතයි කී නුඹෙ මතක පෙම්බර
බැඳෙන්නට තබා අතැඟිලි සිතින්වත් නොඅල්ලා හිඳ
නොහැකි වෙද පෙමක් පවතිනු සිනා වත බලා සැනසෙන
ඇසූ සඳ තවත් ලං වී සුසුම් ලූ නුඹේ හසරැලි
මතක් කරනවා මැයි ගස් මතක මං පෙතෙහි වම් පස
විඳීමක නොමැති පහසක් සිතීමක තිබෙනු නොහැකිද
සුවඳ බඳු නුඹ ළඟින් නැති විටත් දැවටෙනා
තැවෙන්නේ මන්ද හදවත කුටුම්බය දකිද්දී නුඹෙ
නිදහසම ප්‍රේමයද ? සිතිවිලි දෝංකාර දේ
පසුබිම : No one is free, even the birds are chained to the sky ~Bob Dylan
Sunday, November 2, 2014
අහිමි
![]() |
| image-from |
වැටෙන වැහි කාලයක් තිස්සේ
දරා ගන්නට නොහැකි මොහොතේ
ගලා යන ලෙස ඉවුරු බිඳගෙන
ළයේ මා හිස හොවා කඳුළින්
දොවාලයි හදවත රිදුම් දෙන
ඉතාමත් දුර ඈත අහසට
යොමා දෑසම බලාගෙන නුඹ
හිඳිද්දී සිර ගත විලාසෙන්
කිරිල්ලියෙ කෙලෙසක දරන්නද
නුඹේ ප්‍රේමය දරා ගන්නට
මගේ හදවත කුඩා වැඩි බව
පසක් කළ ඒ ගෙවුණු කාලය
අතරමග මඟ හැරුණු ආලය
Wednesday, July 23, 2014
උයන
![]() |
| image-from |
හිතට හිතෙන හඬ අහන්න මල් නොපිපෙන උයනේ
කටු වලටත් නොරිදෙන්නට පය තියන්න අකුලේ
මිහිදන් කල පෙමක පුරා වත කියන්න රහසේ
හිතං උන්නේ නුඹ ගියාද මටත් නොකිය අඳුරේ
පොදක් විඩා නිවා ගන්න අතර මඟදි රැඳුණා
උණත් නුඹට කටු අකුලේ මලක් වෙන්න තිබුණා
අවන්හලත් නිදි වැදුණා සඳ මුදුනට ආවා
මලක් මඟදි මුණ ගැසුණා නුඹද කියා සිතුණා
Wednesday, February 26, 2014
ගඟක් ගලයි
![]() |
| image-from |
සීත හිම දිය වෙනව
වසන්තය ළඟ එනව
මිදුණු ගං දිය උඩට
ඉර වැටිල දිලිසෙනව
කාට ලස්සන උණත්
ගඟක් කැමතියි හුඟක්
නිහඬවම නිසසලව
මිදිල ඉන්නට තවත්
මෙය ප්‍රථම වසන්තය
නොවේ ගඟ පසු කරන
දන්න හින්දා ගැහැට
කෙඳිරි ගාමින් ගලන
අගක අතු ගඟට බර
මලක් ළඟ නවතීද
වසන්තය උදාවන
වළක්වනු හැකිවේද
මුහුද හමුවෙයි ගඟට
යළිත් නිසසල වෙන්ට
තවත් ගංගා වැටුණ
හැකිද තරහා වෙන්ට
Thursday, January 30, 2014
ග්‍රීන් පාත්
![]() |
| image-from |
පින්තාරු කළ සිහින වෙන්දේසියේ ඉමක
නැවුම් සායම් සුවඳ නො එනා
පොදු නොවන සිහිනයක් නොවිකිණෙන සිත්තමක්
ළඟ හිඳී ඇය නතර වීලා
ටිකක් ඉස්සර ඇන්ද නමුත් උණුසුම් තවම
නුඹේ කොපුලේ පාට හින්දා
අදත් තරුණයි තාම හෙටක් සොයමින් පලා
ඇයිද නුඹ ගියෙ අනේ මන්දා
එදා වාගේ හෙවන නොමැත මේ මඟ දෙපස
පාර්ක් එකටත් එළිය වැටිලා
අවන්හල මී පුරන ළඟ පමණි ටිකක්වත්
හෙවන ඇත්තේ ඉතිරි වීලා
ශේෂ වූ හසරැල්ල සුසුමකින් නොතවන්න
වසන්තය නිමවී හමාරයි
ඇන්ඳ මුත් කඳුලකින් දියකර මනෙත නැඟුණ
ගෙනයන්න මෙහි වර්ණ නුඹගෙයි
Saturday, October 19, 2013
මිරිඟුව
![]() |
| image-from |
උදා වන්නට පෙර වසන්තය
හැඳින සිටියාදෝ නොදන්නෙමි
නමුත් පෙර මා මගේ ඇසුරින්
මේ තරම් නුහුරක් නොවින්ඳෙමි
නුඹේ දෑසින් දුටුව මිරිඟුව
මගේ හද ගත් මගේ පිළිරුව
බොඳ වෙලා නුඹ නැතිව අතරට
තිබේ නටඹුන් බරට ඉතිරිව
දෙසවනින් මා බොහෝ රසවිඳි
නුඹ ගැයූ මා ලියූ පෙම් කවි
හදේ ගැඹුරුම තැනුත් කැලතිනි
පසිඳලන්නට අරුත නොදනිමි
සිහින අහසට නැඟී පියඹා
යාවි ඈතට රාව නංවා
ඒ විහඟ තටු අග රැඳී තිබු
බිංදු පිණි කැට විසිරිලා
Tuesday, August 27, 2013
මඟහැර
![]() |
| image-from |
ඇගේ ජායාව අන්තිමට දුටු හිමිදිරිය
අන්ධකාරය ඉරා නැඟුණු ඒ හිරු එළිය
තෙතක් නොතිබූ පොළව පැළී ඉරි තලා ගිය
නිවෙන්නට ගලා හැලෙනා සුමුදු සඳ එළිය
නැවුම් දෙයකට කියා කුලී කුටියට තිබුණ
සුවඳ මල් වල පිපුණ වැටේ කවුරුද නෙළන
හුරු පුරුදු කටහඬක් ආයෙමත් ඇහෙනවා
මගේ නෙතු ඉමේ ඈ කූඩුවක් හදනවා
කඳුළු මඟ කීවාද උල්පත සොයා ගන්න
නුඹේ මොළකැටි හදට බැහැ මගෙන් පළි ගන්න
නවාතැන් කවුළුවෙන් මට ඈත පෙනෙනවා
නුඹේ සෙනෙහස වින්ද මට එහෙම හිතෙනවා
හැමදාම මල් පිපෙයි ඇවිදින් නෙලා ගන්න
වැහි වලාකුළු මැකෙයි සඳේ නුඹ පායන්න
සතුට කඳුළක් වෙලා නෙතු අගට උනනවා
කුලී නිවහන ඈත කුඩාවට පෙනෙනවා
















